සොරබොර වැවයි අපේ පෙමයි ........
එදා සෙනසුරාදා මම පාන්දරින්ම නැගිට්ටේ අපි යාළුවෝ සෙට් එක ට්‍රිප් එකක් යන්න. ගමට කලින්ම මගේ ගෙදරටත් හිරු පායලා. ගමනට අවශ්‍ය කෑම හදන්න අම්මා මහන්සි වෙන හැටි දැක්කම අම්මා කෙනෙක්ගෙ සෙනෙහස කැපවීම කොයිතරම්කිද කියන එක මගේ පපුවට අම්මා නිතරම කාවැද්දුවා ආ......පුතා නැගිට්ටද? හම්....... ඒ මං නිදිමතෙන්ම වගේ.එහෙම කියලා මං ඉක්මනට ලෑස්ති වෙන්න ගියා. වෙනදටත් වඩා හොදට කිට මරලා ලෑස්ති වුණා. අම්මා බත් පිගාන මං ළගට අරන් ඇවිත් මට බත් කවන ගමන් පුතේ දැන් ඔය යනවා කියන ට්‍රිප් එක කොහෙද යන්නේ.? අම්මේ අපි මේ පාර යන්නේ බුදුන් පළමුව වැඩිය පින් බිමට. අම්මා පුදුම වෙමින් මහියංගණයට ද? අන්න හරි අම්මේෙ... අනේ පුතේ වාසනාවන් .... අපි මේ පාර ගිහිල්ලා පස්සේ අම්මවත් එකකගෙන යන්නම්කෝ..... මචං විරාජ්... උඔ ලෑස්තිද..? ඒ මගේ පිස්සු සෙට් එකේ එකෙක් ජනිදු. අපි ඌට ජනියා කියනවා. ඇන්ටි මූ පොඩි එකෙක්ද බත් කවන්නේ..? අනේ පලයන් ඉරිසියා කාරයා.. එහෙම කියන ගමන් මං වතුර වීදුරුව එක හුස්මට බිව්වා. ජනිදු පුතේ එන්න බත් කටක් කවන්න. ඒ මගෙ අම්මට හැම දරුවෙක්ම එක වගේ නිසා. ඒ බලහං උඹේ අම්මා විතරක් නෙවෙයි මගෙත් අම්මා හරි... ජනියා එහෙම කිව්වෙ සිරාවටම. හරි හරි උඔ කාලා වරෙන්කෝ. අම්මේ මං ගිහින් එන්නම් අම්මගෙ කකුල් දෙක අල්ලලා වැන්දේ වෙනදා පුරුද්දටමයි. මගේ පුතාට බුදු සරණයි. දළදා සමිදු පිහිටයි. ඒ හැමදාම මට අම්මගෙන් ලැබෙන ආශිර්වාදයයි. ජනියා ... ඇන්ටි අපි එහෙනම් ගිහින් එන්නම්. හොදයි පුතේ පරිස්සමෙන් ගිහින් එන්න එහෙනම්.බුදු සරණයි.
අප්පට සිරි විරාජයා... නැගහන් නැගහන් කිට මරලා ඉතින් අද. ඒ මගෙ සෙට් එකේ එවුන්ගෙ වචන. මදුර, දිල්ෂාන්, මෙත්මල්, දසුන්, කසුන්, පුබුදු, මුන් ටික තමයි මගේ පාපතර වගේම කළ්‍යාණ මිත්‍රයෝ. මං ගෙනාපු බෑග් එක වෑන් එකේ ඇතුළට දාන ගමන් ගුඩ් මෝනිං මචංලා... ! මමයි ජනියයි දෙන්නම වෑන් එකට නැග්ගා. වෑන් එකේ දොර වහන්නත් කලින් වෑන් එක ඇද්දුවේ ගමනට තියෙන හදිස්සියට වගේ. කෑගල්ලලෙන් ගමනේ මුල පටන් ගන්නකොටම අපේ එවුන්ගේ බජව්ව පටන් ගත්තා. ඔය කිව්වට මමත් එකේ හවුල් කාරයෙත් තමයි.
"මාතලේ හැදුවා මම ගේ තට්ටු
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු" (සින්දුව)
කොංගො එකට ගහලා සින්දු කියන්න ගත්තේ අපේ ගමන එන්ජෝයි කරන්න. මේ බං මාතලෙන් කෙල්ලෙක් කෙසේ වෙතත් මහියංගණයෙන් කැකුළියක්වත් සෙට් වෙයිද දන්නේ නෑ.. ඒ අපේ සෙට් එකේ කටකාරයා දිල්ෂාන්. හරි හරි බං ගිහිල්ලා බලලා කෑල්ලක් දාගමුකෝ.. ඒ දසුන් අපේ අනංගයා ඌට යන යන තැන කෙල්ලෝ. ඔහොම සින්දු කිය කිය ජෝක් නර නර මනරම් වික්ටෝරියාව දහඅට වංගුව පහුකරගෙන මහියංගණයට ආවා දැනුනෙවත් නෑ..
මුලින්ම මහියංගණ රජමහා විහාරයට ගියේ හිතේ භක්තිය පෙර දැඩි කරගෙනය. මල් වට්ටියක් පූජා කරලා බුදුන් වැදලා පන්සල පුරාම අපි ඇවිද්දා. මහියංගණේ චෛත්‍යය හැදුවෙ කවුද බං. ජනියා ඇහුවා. මං ගත් කටටම දුටුගැමුණු රජතුමානේ බං. ඒ අර බලපන්කෝ පට්ට මචං. ගගක් දෙසට අත දික් කරන ගමන් මදුර කිව්වා. පන්සලට එහා පැත්තෙන් මහවැලි ගග ගලා ගෙන යන විදිහ දැක්කම මහියංගණ පින් බිමක් වගේම සුන්දර ගමක් කියන එක අපේ ඔළුවට වැටුනේ මදුරගේ වචන ටික නිසාම නෙවෙයි. අපේ නෙත් වලට ගැටුන දසුන නිසායි. ඒ මචංලා අපේ ඊළග ප්ලේස් එක මොකද්ද? එහෙම ඇහුවෙ පුබුදු. ඊළගට බං අපි සොරබොර වැව බලන්න යමුනෙ. මහියංගණය නගරය පසු කර ගිරාදුරුකෝට්ටේ පාරට වෑන් එක හරවගෙන මගක් දුර යනකොට ඒ බං අර බලපන්කෝ ලස්සන කෑලලක් පාර අයිනේ ඒ කිව්වේ අපේ අනංගයා. කෝ කෝ බං අපේ ඔක්කෝම එකපාරම එබිලා බැලුවා. මල් වැටිච්ච කහ පාට බෝරිච්චි ගවුමක් ඇදගෙන දණහිසට දිගු වුණු වරලසකුත් ඇයට තිබුණා. ඇයව දැකපු අපි සෙට් එක නොසන්සුන් වුණා. අම්මට සිරි මේ මෙතා ඔය වෑන් එක ස්ලෝ කරපන් බං.
"ඒ කැකුළී සොරබොර වැව් පොජ්ජට යන පාර කියනවද?"
දසුන් එහෙම ඇහුවේ පාර නොදන්නා කමට නෙවෙයි ලස්සන කෙල්ලෙක් දැක්කම තියෙන කොලු කමටයි. ඒ එපා බං කටවහගනින්කෝ පව් බං. ආ.... ඇයි මහත්තයෝ උඔට දුකයි.. ද? දසුන් මගේ ඇගට තට්ටුවක් දාගෙනම කිව්වා. ඒ කෙල්ලගෙ ඇස් වල අමුතු අහිංසක පෙනුමක් තිබුණා. මං මගේ හිතින්ම හිතුවා. ලැජ්ජාවට වගේ මූණ රතු කරගෙන අහක බලාගෙන ඒ කෙල්ල යන්න ගියා. වෑන් එක ආයෙත් ගමන යන්න ගත්තා. මට ආයෙත් ඒ ඇස් දෙක දිහා බලන්න හිතුණා. මං වෑන් එකෙන් ඔළුව දාලා බැලුවේ කටට උනපු කෙළ ටික විසි කරන්න වගේ. එහෙම මං බොරුවට රගපෑවේ කෙල්ල බලන්න තිබුණ උවමනාව වගේම ඒ බව යාළුවන්ට දැනුණොත් මට ඉතින් කනක් ඇහිලා ඉනන් වෙන්නේ නෑ කියලා දන්න නිසා. ඔහොම අපි සොරබොර වැවටත් ගියා.
ඒ බං වැවට යන්න කලින් මොනා හරි කාලා යමු ද? පට්ට බඩගින්නක් එනවා බං. ඕනම සෙට් එකක කෑපතයෙක් අනිවාරයෙන්ම ඉන්නවනේ ඒ අපේ සෙට් එකේ කෑපතයා කසුන්. අප්පෝ ඉතින් උඔ කොතන ගියත් කෑම නම් වරදින්නෙ නෑ ජනියා එහෙම කියනකොට හරි හරි බං අර අතන රොටී කඩෙන් රොටී කාලා යමන්. මං එහෙම කිව්වේ වෙනසකටත් එක්ක. අන්න බලහන් යාළුවෝ කසුන් බටර් පාර හොදට ගෑවා. අපි සෙට් එක කඩේ ඇතුළට ගියා. ඇන්ටී අපිට උණු උණුවෙන් රොටියි බෙලි මලුයි දෙන්නකෝ. හරි මහත්තයෝ මහත්තයාලා වාඩිවෙන්නකෝ. කෙල්ලේ ඔය රොටී ටිකයි ලුණු මිරිස් ටිකයි අරන් වරෙන්. මට හිතාගන්න බැරි විදිහට මං සයිලන් වුණා. ඒ වෙන දෙයක් හින්දා නෙවෙයි රොටී පිගාන අරන් එන කෙල්ලව දැකලා. ඒත් එක්කම අපේ සෙට් එක අප්පට සිරි.... ඒ බං අපි එනගමන් ජොක් කරපු කෙල්ල නේද මේ.... දසුන් කිව්වා.. අනිත් එවුන් ඔව් ඔව් බං කෑ ගහන්න එපා. ඇන්ටිට ඇහුණොත් අපිට කන්න වෙන්නෙ රොටී නෙවෙයි ගුටී... ජනියා රහසින් වගේ කිව්වා. හරි හරි කාහන් කාහන් පරක්කු වෙනවා. දිල්ෂානයා කිව්ව දේ මට ඇහුනෙ නැත්තෙ මං කෙල්ල දිහා බලාගෙන හිටපු නිසා වෙන්න ඇතී.. අඩේ විරාජයා කොහෙද බලන් ඉන්නේ කාපන් බං.. දසුනගෙ සද්දෙට මං පියවි ලෝකෙට ආවා වගේ.. මේ උඔ අර කෙල්ලට නේද ලයින් දාන්නේ ආ.... දසුන් එහෙම කියනවත් එක්කම මට පොඩි හිනාවක් ගියා. මේ බලහන්කෝ මුගෙ මනමාල හිනාව. අඩේ විහිළු කරන්න එපා බං.. මං ජනියට එහෙම කිව්වෙ සිරාවටම. අම්මට බොල මූට ලව් සික් එක හැදිලා.. කොල්ලනේ මොකද කියන්නෙ අපේ විරාජයාට බොක්කෙන්ම සපෝට් එක දෙමුද? දිල්ෂාන් එහෙම කියනකොට මගේ සෙට් එක අනිවා අනිවා බං අපෙන් පුල් බකල් එක ආ.... මචං ඔන්න කෙල්ල බෙලි මල් එක අරන් එනවා මං කෙළින්ම අහන්නද ? පිස්සුද දිල්ෂානයා උඔට වැඩේ ලීක් කරන්න බෑනේ පොඩ්ඩක් හිතපන්කෝ.. බලහනකෝ මල්සරාගේ ටෝක් එක. හරි හරි බං දැන් අපෙන් මොකද වෙන්න ඕනි ආ.... කෙල්ල බෙලි මල් එක මේසෙ උඩින් ගෙනත් තියනකොට මං එක පාරටම නංගී හකුරු නැද්ද? තියෙන්වා මහත්තයෝ... ආ.. මෙන්න මහත්තයෝ. ආ.. හරි තැන්ක් යූ. ඒ බලපන්කෝ ඒකි මොකුත් නොවුණ ගානටනෙ කතා කරන්නේ මාර කෙල්ලෙක් බං දසුනාගෙ වචන ටික ඉවර වෙනකොටම මට කියවුණේ පව් බං ඒකි. මේ ජනියා උඔ ගාව පෑනකුයි කොළයකුයි තියෙනවද? කොළයක් නෑ බං පෑනක් තියෙනවා. ආ කමක් නෑ.... පෑන දීපන්කෝ. කොල්ලා ගේමට බහින්නයි යන්නේ...
ඇනටි අපේ බිල දෙනවද ? මං බිල ඉල්ලුවේ බිලක් ඕනි කමකට නෙවෙයි කොළ කෑල්ලක් ඕනි කමටයි. බිල අරගෙන ඒකෙ පිට පැත්තෙ මගෙ නම්බර් එකයි නමයි ලිව්වා. ඒත් මේක දෙන විදිහක් ගැන කල්පනා කරනකොට එකපාරට ඇන්ටි කෙල්ලෙ ඔය මහත්තයාලගෙන් සල්ලි ගනින් මං එහා පැත්තට ගිහින් එන්නම්. ඒ වචන ටික ඇහෙන කොටම මට හිතුණේ උඩ ඉන්න දෙවියෝ මගේ මූණ බැලුවා කියලා. අන්න මචං චාන්ස් එක ඕක දීලා දාන්න. ජනියා පට්ප හැපි එකේ කිවවා. මමත් දෙපාරක් හිතුවේ නෑ දෙවියො දුන්න චාන්ස් එක කියලා හිතලා සල්ලිත් එක්කම කෙල්ලට නම්බර් එක දුන්නා. කෝකටත් කියලා නම්බර් එක පේන විදිහටම දුන්නා. කෙල්ල එක පාරටම මං දිහා ඔරවලා වගේ බලලා මොනාදෝ කියන්න හදනකොටම කෙල්ලගෙ අම්මා ආවා. කෙල්ලගේ බය වැඩි කමටද මන්දා කොළෙ පොඩි කරලා විසික් කරා. මට මාර විදිහට අප්සට් ගියා. හතේ තිබ්බ සතුට එහෙම් පිටින්ම නැතිවෙලා ගියා. මොනා කරන්නද දෛවයේ හැටි ඔහොම තමයි කියලා හිතලා අපි වැව බලන්න ගියා.
යාළුවෝ සෙට් එක මගේ හිත හදන්න ඒ මචං බලපන්කෝ ඕකි උඔට කෝල් එකක් ගන්නවා අනිවා. ඔව් ඔව් බං ඕකි ගනනවා. උඔ ඒ නිසා වැඩිය හිතන්නෙ නැතුව අපේ ට්‍රිප් එක එන්ජෝයි කරහනකෝ. ආයේ මට කෝල් කරන එකක් නෑ බං. මං දුන්න නම්බර් එකත් විසික් කරානෙ. හරි හරි බං අපි මොනාහරි කරමුකෝ බලන්න. ඈ බං රොටියක් කන්න ගිහින් අපේ විරාජයාට වුණ වැඩක්. මේ විදිහට එක එක කතා කිය කිය මගේ හිතට පොඩි බලාපොරොත්තවක් ඇති කළා. අපි සොරබොර වැවත් බලලා වැවෙන් නාලා එනකොට මං ආයෙත් ඒ රොටී කඩේ දිහා බැලුවෙ ලොකු බලාපොරොත්තුවකින්. ඒ කෙල්ල හිටියා.මං දිහා බලලා බිම බලා ගත්තා. ඒ බැල්ම සංසාරගත බැල්මක් වගේ මට දැණුනා. ඇයව දාලා යන්න බෑ කියලා හිතුණත් ගෙදර යන්න රෑ වෙන නිසා අපි යන්න පිටත් වුණා. යන අතරතුර මග දිගටත් මට ඒ කෙල්ලව මතක් වෙනවා.. ඒ විරාජයා වරෙන්කෝ බං සින්දුවක් කියන්න. හරි බං මං එන්නම් උඔලා කියපල්ලා. ටික වෙලාවකින් මමත් සිනදු කියන්න ගත්තා. අපි කෑගල්ලට යනකොට රෑ ටිකක් රෑ වුණා. ඒත් පරිස්සමෙන් ගෙදර ආවා.මං දවසින් දවස බලා ගෙන හිටියා ඒත් කෝල් එකක් ආවේ නෑ. මොනා කරන්නද? ඔහොම සතියක් දෙකක් විතර ගියාට පස්සේ මං දන්නෙ නැති නම්බර් එකකින් කෝල් එකක් ආවා. කොච්චර එයාව අමතක කරලා ඉන්න හිතුවට කෝල් එක එනකොටම මට මතක් වුණේ එයාව විතරමයි.
හෙලෝ... හෙලෝ.. කවුද? හෙලෝ විරාජ් කියන්නේ ඔයාද ? ඒ කට හඩ ඇහෙනකොටම මං දැන ගත්තා එයා කියලා. ශව් මං තමයි විරාජ්. ඔයා.... ? මන්ද ? මං තමයි අර මහියංගණේ කැකුළී.. අනේ සොරි... අපේ එවුන් කිවවට. කොල්ලනේගෙ හැටි දන්නවනේ ඔයා. මේ ඒක නෙවෙයි ඔයාගෙ නම මොකද්ද? මං අනුත්තරා. ෂා ලස්සන නමක්නෙ. මේ මං ඔයාගෙන් දෙයක් අහන්නද? අහන්න අනුත්තරා. ඔයා මේ වගේ කී දෙනෙකුට නම්බර් එක දීලා තියෙනවද? අනේ ඇයි ඔයා එහෙම අහන්නේ? නෑ ඉතින් කියන්න බෑනෙ කොල්ලන්ගෙ හැටි. අනේ මං එහෙම කෙනෙක් නෙවෙයි. නංගී ඔයා එදා මං දුන්න නම්බර් එක විසික් කරේ ඇයි? මට ගොඩක් දුක හිතුණා. ඒ වෙලාවේ අම්මා ආවානේ. මට බය හිතුණා ඒකයි. ඒ කියන්නේ ඔයා ඒක පස්සේ ගත්තා නේද හොර ගෙඩියා. අනේ දැන් විහිළු කරන්න එපා. අනුත්තරා ලැජ්ජාවෙන් වගේ කිව්වා. ඔය විදිහට අප් ගොඩාක් වෙලා කතා කළා. කොහොම හරි අනුත්තරාගේ කැමැත්ත විතරක් නෙවෙයි අනුතත්තරාගෙ අම්මාගෙ කැමැත්තත් මං අරගත්තා. ඔහොම මාස තුන හතරක් යනකොට මං ආයෙත් අනුත්තරාව බලන්න ගියා. ඒ ගියෙත් අපි දෙන්නා මුලින්ම හම්බවුණු සොරබොර වැවට.
මෙතන හරිම ලස්සනයි නේද අනූ? හම්.... ගොඩාක් ලස්සනයි. අයියේ ඔයා දන්නවද මේ සොරබොර වැව හැදුව ජනප්‍රවාද කතාව? නෑනෙ අනූ මට කියලා දෙන්නකෝ. මං ජනප්‍රවාද කතා අහන්න ගොඩාක් ආසයි හැබැයි ඒ වෙලාවේ මං අනූගෙන් එහෙම ඇහුවෙ ඒ ගැන දැන ගන්නවාට වඩා ඇගේ මුවින් කතාවක් අහන්න තිබුණු දැඩි ආශාව නිසයි. අපි දෙන්නා වැව අසල තිබුණු රූස්ස ගස් සෙවණේ වාඩි වුණා. අනූ දැන් මට කතාව කියන්නකෝ. අනූ මට වැව ගැන කතාව කියන්න ගත්තා. ඔන්න එකමත් එක කාලෙක කියලා අනූ හිනාවෙන්න ගත්තා. අනූගෙ හිනාව දකිනකොට ඇගේ තොල්පෙති සිපගන්නට හිතුණත් මං ඉක්මන් නොවූයේ ඇය මං ගැන වැරදියට සිතයි යන සැකය නිසයි. මං එහෙම හිතමින් මොකද මැට්ටි හිනා වෙන්නේ? නෑ මේ මගෙ මැට්ටා කතන්දර අහනවා දැකලා හිනා ගියේ. පිස්සු කෙල්ල මං අනූ දිහා ආදරෙන් බලලා කිවවා. හරි හරි අහගන්නකෝ එහෙනම්.
මේ සොරබොර වැව හැදුවේ බුලතා කියලා යෝධයෙක්. ඒ කාලේ තමයි දුටුගැමුණු රජතුමා මහියංගණය චෛත්‍යය හදලා තියෙන්නෙ හරිද? රජතුමාට බුලත් පිළිගන්වන උඩුදුම්බර කිරි පට්ටිය ගමේ ඉපදුණ ශක්ති සම්පන්න පුරුෂයෙක් පත් කරලා තියෙනවා. මං වගේ එක්කෙනෙක්ද? මං කතාවට බාධා කරමින් ඇහුවා. අප්පෝ ඔව් ඔව් අනූ හිනා වෙමින් කිව්වා. රජතුමාට බුලත් පිළිගන්වන එක තමයි මේ යෝධයාගෙ රාජකාරිය.ඒ නිසා ගමේ හැමෝම මෙයාට බුලතා කියලා කිව්වලු. හරිද මගෙ මැට්ටෝ. හරි මගෙ මැට්ටි. දැන් ඔන්න උදේ කෑමෙන් පස්සේ දවල් කෑමෙන් පස්සේ රෑ කෑමෙන් පස්සේ උදේ දවල් රෑ අතුරුපසෙන් පස්සේ රෑ නිදා ගන්න කලින් කියලා ඔන්න ඔය විදිහට බුලත් පිළිගන්යන්න ඕනිලු. බුලතා යෝධයා මේ රාජකාරිය කරන අතරතුර වටපිවාවෙ ඇවිදින්නත් යනවලු. දවසක් ඉතින් ඔහොම ඇවිදගෙන යනකොට මේ යෝධයට හම්බ වෙනවලු ගල් කදු දෙකත් අතර තිබුණු පහත් බිමක්. ඒ අතරින් ලොකු දොළ පාරකුත් තිබිලා තියෙනවා. අනූ කතාව කියන අතරතුරේ දී මං අනූගෙ උරහිසට ඔළුව තියා ගත්තා. අයියේ ඔයාගෙ ඔළුව රිදෙනවද? නෑ අනූ ඔයාගෙ කතාව මට ඔයාට ළං වෙලා අහන්න හිතුණා ඒකයි. ඔයා නම් පිස්සකේ. එහෙම කියන ගමන් අනූ ආයෙත් නකාව කියන්න පටන් ගත්තා. දැන් මේ දොළ පාර අහුරා ගල් කදු දෙක අතර බැම්මක් බැන්දොත් ලස්සන වැවක් හදන්න පුළුවන් වෙයි කියලා බුලතා හිතනවලු. ඊට පස්සේ රජුට බුලත් පිළිගන්වන ගමන් ඉතුරු වන පොඩි කාලෙදී මේ වැව හදන්න තීරණය කරනවා. ඔයා දන්නවද ඉස්සර බුලතට තිබ්බ උදැල්ල සාමාන්‍ය මනුස්සයෙකුට උස්සන්න බැරිලු. ඒ තරමට ඒක ලොකු උදැල්ලක්ලු. සාමාන්‍යෙයන් මිනිස්සු විස්සකටවත් ඔසවන්න බැරි තරම් පස් ප්‍රමාණයක් එක පාරට කූඩයෙන් ගේනවලු. එයාට එතකොට කොච්චර ශක්තියක් තියෙන්න ඇත්ද නේද? ඊට පස්සෙ බුලතා පස් ගෙනල්ලා ගල් කදු අතරට දාලා පාගලා දවසින් දවස ටිකින් ටික වැව් කන්ද හැදුවලු. දැන් මේ වැවේ වතුර පිට කරන්න සොරොව්වක් හදන්නත් බුලතා හිතුවලු. පස්සේ බුලතා ගල් පර්වතයක් තෝර ගෙන වැව් ඉස්මත්තේ තිබුණු රහස් ඖෂධ ශාකයක මුල් පොතු කොළ මල් අතු වගේ ඒවා අරගෙන එකට අඔරලා ගල් මත අතුරලා ගල් පර්වතය මෙලෙක් කරලා ගල සිදුරු කරලා සොරොව්ව හැදුවා කියලා තමයි කියන්නේ.
කවුද අනූ ඔයාට මේ දේවල් කියල දෙන්නේ? අපේ කිරි අම්ම තමයි මට ඔය දේවල් කියල දුන්නේ. හරි පුදුමයි නේද අනූ ? හිතා ගන්නවත් බැරි විදිහට තමයි මේ දේවල් වෙලා තියෙන්නෙ. ඔව් ඔව් පුදුමයි තමයි. හිතා ගන්නවත් බැරි විදිහට තමයි මහත්තයෝ අපි දෙන්නත් ළං වුණේ. අනූ එහෙම කියනකොට මං අනූගේ ඇස් දෙක දිහා බලලා ඇගේ නළල සිප ගත්තේ ඇයට ගොඩාක් ආදරේ හිතුණ නිසයි. ඒයි මැට්ටා මොකද ඔය කරන්නේ? කවුරු හරි දකියි. ඉතින් දැකපුදෙන්. හරි හරි දැන් ආයෙත් කතාව හරිද? අනූ හුරතලෙන් වගේ ආයෙත් කතාව කියන්න ගත්තා.
බුලතා යෝධයට භාර්යාවක් හිටියලු. ඇයත් ගොඩක් ශක්ති සම්පන්න කාන්තාවක්ලුත සාමාන්‍ය ගැහැණු විස්සකගේ විතර ශක්තිය තියෙනවලු. දැන් මේ භාර්යාව කිරි පට්ටිය ගමේ ඉදලා බුලතා යෝධයාට දවල් කෑම ගේනවලු. ඒ කෑම ගේන කොට ගමන් පහසුවට ගල් පඩිපෙළක් මේ ගෑණු එක්කනො හදනවලු. මේ පඩිපෙළ දකින බුලතා යෝධයා වැව හදන වැඩේට බිරිදත් එක් කර ගන්න බුලතා හිතුවලු. ඊට පස්සේ දැන් මේ දෙන්නා එකතු වෙලා වැව හදන්න ගන්නවා. දුටුගැමුණු රජතුමා මහියංගණේ චෛත්‍යයේ කොත පළන්දන උත්සවේ දවස වෙනකොට බුලතා මේ වැව හදලා ඉවර කරනවා. ඔයා යා දන්නවද මේ වැවේ තියෙන විශේෂත්වය? ඔව් අනූ..... ආ.... එහෙනම් මොකද්ද කියන්න? අර පේන්න තියෙන ලස්සන ගලින් හැදුව සොරොව්වනේ. හරියට හරි මගේ හපනා ඔයා. මගේ පිස්සි. හරි ඊට පස්සේ අනූ ? ඊට පස්සේ බුලතා යෝධයා දුටුගැමුණු රජතුමා ඉස්සරහට ගිහින්,
" දේවයන් වහන්ස මම තනියම වැව් පොඩ්ඩක් බැන්දා.එය බලනු පිණිස වඩින මෙන් ආරාධනා කරමි." කියලා කියනවා හරිද.
දැන් මේ වැව බලන්න රජතුමායි සේවකයොයි ගමේ හැමෝමයි එනවා.රජතුමාට දැන් හිතාගන්න බැරිලු මේ තරම් ලොකු වැවක් තනි මනුස්සයෙක් හැදුවෙ කොහොමද කියලා. පස්සේ රජතුමා කියනවලු....
" දරුව තොපගේ ඉතා හරබර වාරි කර්මාන්තය ගැන මම ඉමහත් සතුටට පත් විම්.."
දැන් රජතුමා අහනවලු මේ වැව හදන්න සේවකයෝ කී දෙනෙක් ගත්තද කියලා.. බුලතා යෝධයා කිව්වලු මට මගේ භාර්යාවගෙන් ඇරෙන්න කිසිම කෙනෙකුගෙන් උදව් ගත්තේ නෑ... මට උදව්වට තිබුණේ මගේ මේ උදැල්ලයි ආයුධ ටිකයි විතරයි.
ඊට පස්සේ රජතුමා බුලතාගේ මේ විශ්ම ජනක ක්‍රියාව දැකලා රජතුමාගේ සේනාවට බදව ගන්නවා. අර දසමහ යෝධයන්ගෙන් එක්කෙනෙක් තමයි මේ බුලතා යෝධයා.
ඊට පස්සේ ඉතින් එදා ඉදලා හරබර වැව කියලා මේ වැව ප්‍රසිද්ධ වුණා. පස්සේ කාලෙක හරබර සරබර වෙලා පස්සෙ "සොරබොර වැව" කියන නමට පෙරලුනා.
අන්න එහෙම තමයි සොරබොර වැවේ ජනප්‍රවාදය හැදිලා තියෙන්නේ. ඉවරද අනූ.....? හම් ....ඉවරයි. අනේ ඉතින් මගේ කෙල්ලට ලස්සනට කතා කියන්න පුළුවන් නේද? අනූ මං තව ටිකක් වෙලා ඔළුව තියාගෙන ඉන්නද? ඉතින් තියාගන්නකෝ මං ඔයාට එපා කිව්වෙ නෑනේ. මගේ මැට්ටා ඔයා...
මේ......, බුලතයි එයාගේ භාර්යාවයි එකතු වෙලා වැව හැදුවා වගේ අපි දෙන්නත් එකතු වෙලා ලස්සන කුරුළු කූඩුවක් හදමුද මගේ සුදු මැණිකේ....? හොදයි හොදයි මගෙ මහත්තයෝ අපිත් ලස්සන කූඩුවක් හදමුකෝ.........
HS\ 2015\ 0322
H.M. චමිල්කා හර්ෂණී
සාම්ප්‍රදායික සන්නිවේදනය.
සාම්ප්‍රදායික සන්නිවේදනය.
lassanai
ReplyDeleteThanks bn.
Delete👍👍👍👌👌
ReplyDelete👌👌👌👍👍👍
ReplyDelete